Archive for the ආදරය Category

“සුද්දී”

Posted in ආදරය on January 12, 2012 by සසඳ

ඈ හීන්දෑරිය… සුදුය… කොහේ, කොතැන දුටුවත් ඇගේ වත කමල සිනා මලින් පිරී ඉතිරී ඇත… මා ඇයව දන්නේ ඇගේ මව ඈ හැර දමා ගොස් කිහිප දිනකට පසුවය. එදා සිට ඇගේ නිවහන වූයේ අපේ නිවසයි. ඈ අනෙකුන් මෙන් නොව. දුටුවන සිත් පිනවයි. ඉතා ප්‍රියකරුය. අප කා හටත් ඈ ඉතා ලෙංගතුය…
විටෙක ඇගේ ලෙංගතුකම මහත් වදයකි. අහල, පහල කොහේ ගියත් ඈ අප සමග එයි… අප සමග පමණක් නොව, කා සමගත් ඈ කුළුපගය. කවුරුත් ඇයට ආදරේය…
මා නිවසින් පිටවන විටත්, පෙරලා පැමිණෙන විටත් ඈ මා අසලට දුවවිත් ඇගේ එල්ලෙයි. ඒ ඇගේ සිරිතය. එවිට ඈ සමග වචනයක් හෝ කතා නොකලහොත් ඈ හද පාරවා ගනී… ඇගේ දෙනෙතේ ඒ බව මනාව පිළිබිඹු වේ…
ඇගේ මුළු ලෝකයම අපේ නිවැසියන්ය… ඉන් තොර ලොවක් ඈ නොදනී… ඉන් ඇයට වැඩකුත් නැත… නපුරුකමක් කියා දෙයක් ඈ දන්නේවත් නැත…
පහළ ගෙදර පොඩි උන් දෙන්නා ඈට නොදෙන වදයක් නැත… වරෙක උඩ දමයි, තවත් වරෙක් පිට උඩ නගී, නැතහොත් බිම දිග ඇදගෙන යයි… ඒත් ඈ නොවේ කේන්ති ගන්නේ… ඇගේ සිනාසෙන දෙනෙත් එහෙමමය… එයනම් පුදුම සහගතය…
අද ඈ රෝගාතුරවය… දහසක් දුක් විඳදරාගෙන ඈ සිනාසෙයි… කෙතරම් අමාරු වුවද එය නොපෙන්වා සිටීමට ඈ වෑයම් කරයි… ඒත් ඒ දෙනෙත් අද කඳුළු පටලයකින් වැසී ඇත… ඈ අසනීපයෙනි… “සුද්දී” යැයි කී විට අමාරුවෙන් හිස ඔසවයි… අනේ ඇයට කුමක් සිදුවීද…? දෙවියනි ඇයට ඉක්මන් සුවය ලබාදුන මැනවි…
තිරිසන් ආත්මයක් වුව මිනිසුන්ට වඩා යහපත් ගති ඇති “සුද්දී” අප අතර සිටින බොහෝ නොමිනිසුන්ට වඩා බොහෝ මිනිස් ගති වලින් යතුය… උඹට ඉක්මන් සුවය ලැබේවා…

මගේ අම්මා…

Posted in ආදරය on January 30, 2011 by සසඳ

අම්මා…

දවසක් මම පොතක කියවල තියෙනව මේ ලෝකෙ තියෙන ලස්සනම වචනෙ අම්මා කියල. ඒ දවස්වල ඒකෙ තේරුමක් එච්චරටම නොදැනුනත් අපි කාලයත් එක්ක මුහුකුරා යනකොට ඒක ඇත්ත කියල තේරෙනව නේද? අපි ගෙදරින් පිට ගිහින් එනකොට අම්ම ගෙදර නැත්නම් මොනතරම් දුකයිද…? අනේ මන්ද මටනම් ගොඩක් කේන්ති යනව එතකොට. ගෙදරට එන්නෙ “අම්මේ” කියල කෑ ගහගෙන. මට තවමත් තේරෙන්නෙ නෑ ඇයි කියල. අම්මනම් කියන්නෙ “මොකද මේ බෙරිහන් දෙන්නෙ කියල”. දෙවියන්ට කලින් මම අම්මට, තාත්තට පින් දෙන්නෙ ඒ අරුම-පුදුම බැඳීම නිසා වෙන්න ඇති…


අපේ තාත්තා…

Posted in ආදරය on November 9, 2010 by සසඳ

අපේ තාත්තාගේ මා දන්නා කාලයේ සිට කොන්ඩය සුදුය. අම්මානම් කියන්නේ සෙනසුරු ඒරාෂ්ඨකේ කියාය. හේ වැඩිය කතා නොකරයි. මං පුංචි කාලයේ ඉඳන්ම සිහින මැවුවේ මගේ තාත්තා වගේ වෙන්නටය, ඒ වගේ අඳින්නට, කතා කරන්නට, ඇවිදින්නට මම තාත්aතාටත් හොරෙන් තාත්තාව අනුකරණය කළෙමි. එදා ඉඳන්ම තාත්තා මට වීරයෙකි.

මම පෙර පාසල් යන කාලයේ තාත්තා මාවත් බයිසිකලයේ තබාගෙන කිලෝ මීටර හය-හතක් බයිසිකලය පැද්දේය. එදවස් තවමත් මා සිතේ සොඳුරු සිහිනයක් සේ සිත්තම් වී ඇති අයුරු පුදුමය.

මගේ පාසලේ හැම වැඩකටව වාගේ ආවේ තාත්තාය. ඔහු කිසිවිටෙකත් කලබල නොවන්නෙකි. පාසලෙන් කට්ටි පැන හසුවූ දිනක පාසලට ආවේද තාත්තාය. ඒත් ඔහු කලබල නැත. ගාමිනී සර් කියූ දේ සාවදානව අසා සිටි ඔහු මාත් කැටුව ආපසු ගෙදර ආවේය. මටද කිසිවක් නොකීය. ඒත් ඔහු නොකී දේ මට දෑස් තුලින් දැකගත හැකිවිය. එදායින් පසු මම කිසිමදාක කට්ටි පැන්නේද නැත.

තාත්තා මහ පුදුම මිනිසෙකි. පාසල් යන කාලයේ පටන් ඔහු මාව දුම් රිය පොළට ඇරලවයි. හවසට රැගෙන යාමට පැමිණෙයි. අදටත් ඔහු එහෙමමය. සමහර දිනක ඔහු පැමිණෙන්නට ප්‍රමාද වූ දිනක මට කේන්ති යයි. ඒත් ඔහු නොවේ කේන්ති ගන්නේ. කෙසේ වෙතත් මා ඔහු සමග කට ගසාගෙන නොයයි. ඒ බියකට හෝ අන් කිසිවකට නොවේ, ඔහු කෙරේ ඇති භක්තියකටය.

තාත්තා තරම් ඉවසන මිනිසෙකු මා තවත් දැක නැත. ලෝකය පෙරළුනත් ඔහු, ඔහුගේ පාඩුවේ වැඩය. ගමේ සමිතිය ඔහුට මහා ලොකු දෙයකි. ඔහු එය මහා ලොකු වගකීමකින් කරයි. අතින් වියදම් කරගෙන ඔහු සමාජ සේවය කරයි. අම්මා කොතරම් කෑ ගැසුවත් ඔහු නොවේය සැලෙන්නේ. මා මෙන්ම ගමේ මිනිසුන්ද ඔහුට ගෞරව කරයි. ගමේ මිනිසුන් මට සලකන්නේද ඔහුට ඇති ගෞරවයකට මිස මට ඇති බම්බුවකට නොවේය. ඒත් මා ඔහුට ඒ බවක් නොපෙන්වයි. ඒත් සත්‍ය එයයි.

ඔහු කිසිමදාක මට නීති නොදැමීය. මට මගේ පාඩුවේ කැමති දෙයක් කරන්නට ඉඩ දුන්නේය. ඒ ඔහු මා විශ්වාස කළ බැවිනි.තාත්තා පුදුම අවංකය. රාජකාරිය තරම් ඔහුට තවත් දෙයක් නොමැත. ඔහුගේ විනෝදාංශයද එයම විය හැක. මුදල් යනු ජීවිතය නොවන බව මා උගත්තේ මගේ තාත්තාගෙනි. ඔහු සතුටින් ජීවිතය ගෙන යයි. ඔහුගේ ජීවිතය මගේ තරම් කළබලකාරී නැත. හේ මිදුල අතු ගායි, තණකොළ කපයි, වත්ත-මිදුල පිරිසිදුව තබාගනියි. මටනම් ඒවාට වෙලාවක් නැත. ඒත් ඔහු තාත්තා කෙනෙක් වීත් ඔහුට වේලාව ඇත.

තාත්තා ඊයේ කොහෙන්දෝ ෆාමසියකින් බෙහෙත් වගයක් ගෙනත්ය. එහි වටිනාකම රු. 1100.00 ක් වුවද කඩේ කොලුවාට වැරදී තාත්තාගෙන් ගෙන ඇත්තේ රු. 110.00 කි. ඔහුත් ඒ බවක් නොදැන ගෙදර ඇවිත්ය. ආ පසුය ඔහුට වැඩේ තේරී ඇත්තේ. බිල් පතේ තිබූ අංකයට ඇම්තූ ඔහු ඉතිරි මුදල් මනි ඕඩරයකින් යවා ඇත. ඒ තාත්තාගේ හැටිය. ඔහු අවංක වැඩියැයි වෙලාවකට මට සිතේ.

ඉතින් මගේ තාත්තා ගැන කියනවානම් බ්ලොග් පිටු දාහක්වත් ඕනෑය. කෙසේ වෙතත් අපේ තාත්තා දාහකින්වත් සොයාගත නොහැකි පුදුම මනුස්සයෙකි. මම ඔහුට රු. 6000.00 ණයය. ඒත් ඔහුගේ මුලු ණය පියවීමටනම් මට සංසාරෙදිවත් බැරිය…