ආයුබෝවන්

Posted in Uncategorized on March 7, 2017 by සසඳ

ගොඩාක් දවසකින්. හිතුන ආයෙත් ලියන්න. හැල්මේ දුවල, දුවල වෙහෙසයි. හිත සන්සුන් වෙන්න, ආද්‍යාත්මය සන්සුන් වෙන්න තමුන් වඩාත් ආස කරන දෙයක් කරන්න ඕනෙ. ඉතින් නිදහසේ ඉන්න වෙලාවට ආයෙත් ලියන්න හිතුන. අඩුපාඩු, වැරදි ගොඩක් තියෙයි. ඒව ටිකින් ටික හදාගෙන ඉදිරියට යමු. ජය…

Advertisements

ඈ…

Posted in Uncategorized on May 18, 2013 by සසඳ

ඈ කවුද…?

ඔබත් මමත් තනිව උපන් ලොවේ, මා දෑස වන් මාපියන් ලඟට මාගේ හයිය ඇයයි…

තිරිසනුන් වන් මිනිසුන් මා තලා පෙලන විට ඈ මා අස්වසන්නී… මා බිම වැටෙද්දී ඈ මට හයිය දෙන්නී නැවත නැගී සිටින්නට…

හෙවනැල්ල සේ මා ළඟ හිඳින්නී… යා යුතු මග පෙන්වන්නී, ඈ මට ජීවය පිඹින්නී…

මහමෙරක් මෙන් ආදරය දෙන්නී… විටෙක මට වදයක් වෙන්නී…

ඈ මවකි… විටෙක යෙහෙළියකි… තවත් විටෙක මගේ සොයුරිය ඇයයි…

සියල්ලටම වඩා ඇය මගේ බිරිඳයි…

කිසිවෙකුත් පිරිපුන් නොවූ ලොවේ ඇයද නොපිරිපුන්ය…

ඒත් ගල්, කටු පඳුරු අඳුරු දිවියේ ඇය මගේ ආලෝකයයි…

ඈ මගේ ආදරණීය බිරිඳයි…

සියල්ල මුදලින් තීරණය වන ලොවේ, මුදිලින් ගත නොහී ප්‍රේමය ඇයයි…

මා දෙමාපියන් ලද දුවණිය ඇයයි… දෛවය විසින් අහම්බෙන් මුන්ගැස්වූ ඇය මා ආදරියයි…

බුදුන්ට යශෝධරාව මෙන් ඇය මගේ යශෝධරාවයි…

මතු උපන් ආත්මයක මගේ බිරිඳ නොවී සසර ගමනින් එතෙර වන්නට නුඹ පින්වත් වේවා… මතු දිනයක බුදුන් දැක නිවන් දකිනු මැන…

ඒ මගේ පැතුමයි… නුඹ කිසිදා මෙය නොදකීවි… දුටු දිනෙක…?

(එදින ලෝක විනාශයයි… හිකිස් )

ස්පෝර්ට් මීට් එක…

Posted in එදිනෙදා සිද්දි on June 26, 2012 by සසඳ

“සුද්දී”

Posted in ආදරය on January 12, 2012 by සසඳ

ඈ හීන්දෑරිය… සුදුය… කොහේ, කොතැන දුටුවත් ඇගේ වත කමල සිනා මලින් පිරී ඉතිරී ඇත… මා ඇයව දන්නේ ඇගේ මව ඈ හැර දමා ගොස් කිහිප දිනකට පසුවය. එදා සිට ඇගේ නිවහන වූයේ අපේ නිවසයි. ඈ අනෙකුන් මෙන් නොව. දුටුවන සිත් පිනවයි. ඉතා ප්‍රියකරුය. අප කා හටත් ඈ ඉතා ලෙංගතුය…
විටෙක ඇගේ ලෙංගතුකම මහත් වදයකි. අහල, පහල කොහේ ගියත් ඈ අප සමග එයි… අප සමග පමණක් නොව, කා සමගත් ඈ කුළුපගය. කවුරුත් ඇයට ආදරේය…
මා නිවසින් පිටවන විටත්, පෙරලා පැමිණෙන විටත් ඈ මා අසලට දුවවිත් ඇගේ එල්ලෙයි. ඒ ඇගේ සිරිතය. එවිට ඈ සමග වචනයක් හෝ කතා නොකලහොත් ඈ හද පාරවා ගනී… ඇගේ දෙනෙතේ ඒ බව මනාව පිළිබිඹු වේ…
ඇගේ මුළු ලෝකයම අපේ නිවැසියන්ය… ඉන් තොර ලොවක් ඈ නොදනී… ඉන් ඇයට වැඩකුත් නැත… නපුරුකමක් කියා දෙයක් ඈ දන්නේවත් නැත…
පහළ ගෙදර පොඩි උන් දෙන්නා ඈට නොදෙන වදයක් නැත… වරෙක උඩ දමයි, තවත් වරෙක් පිට උඩ නගී, නැතහොත් බිම දිග ඇදගෙන යයි… ඒත් ඈ නොවේ කේන්ති ගන්නේ… ඇගේ සිනාසෙන දෙනෙත් එහෙමමය… එයනම් පුදුම සහගතය…
අද ඈ රෝගාතුරවය… දහසක් දුක් විඳදරාගෙන ඈ සිනාසෙයි… කෙතරම් අමාරු වුවද එය නොපෙන්වා සිටීමට ඈ වෑයම් කරයි… ඒත් ඒ දෙනෙත් අද කඳුළු පටලයකින් වැසී ඇත… ඈ අසනීපයෙනි… “සුද්දී” යැයි කී විට අමාරුවෙන් හිස ඔසවයි… අනේ ඇයට කුමක් සිදුවීද…? දෙවියනි ඇයට ඉක්මන් සුවය ලබාදුන මැනවි…
තිරිසන් ආත්මයක් වුව මිනිසුන්ට වඩා යහපත් ගති ඇති “සුද්දී” අප අතර සිටින බොහෝ නොමිනිසුන්ට වඩා බොහෝ මිනිස් ගති වලින් යතුය… උඹට ඉක්මන් සුවය ලැබේවා…

ඔබගෙ අම්මද? නැත්නම්, ඔබගෙ බිරිඳද…?

Posted in එදිනෙදා සිද්දි on December 7, 2011 by සසඳ

කොහොමද ඉතින් යාළුවනේ…? ගොඩක් කාලෙකින් එන්න බැරි උනා… ජංජාලෙ කරක් ගහනකොට හම්බ උනා ලස්සන සින්දුවක්. අපෙ බයිලා චක්‍රවර්තී එම්.එස්.ප්‍රනාන්දු කළා ශූරීන්ගෙ ලස්සන සින්දුවක්. හොඳින් අහල බලන්න. ලොකු තේරුමක් මේකෙ තියෙනව… මෙන්න මෙතනින් බාගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්. හදිසියෙ ආවෙ. ළඟදීම හොඳ පෝස්ට් ටිකක් අරන් එන්නම්… ජය… 🙂

ඔබගෙ අම්මද? නැත්නම්, ඔබගෙ බිරිඳද…?
ඔබ ආදරෙ මේ දෙදෙනගෙන් කාටද…?
ගෑණු අපිට සිය ගනන් සෙව්වැකි…
හැබැයි අම්ම කිව්වොත් එක්කෙනයි බොරු නැති…

අත් මිට කාසි පනම් ඇති විට…
එතකොට ගෑණුත් ඇති වට පිට…
එයල අත මිට නැති දා හැර යයි යන්නට…
නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට…
සමහර තරුණ, තරුණියන්ට රැවටිලා…
අසරණ මෑණියන්ට වෙනස්කම් කළා…
ගෑණු ඕනතරම් ලෝකෙ හරිම කරදරේ…
එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ…

එදා චූල පදුම රජතුමාගෙ බිසවට…
පිපාසෙ උන කාන්තාරෙ යනකොට…
රජා උරේ පලළ ලේ දුන්නනෙ බොන්නට…
රජු එතරම් ආදරෙන් හිටියෙ බිසවට…
ඇය ආස හිතිල අත පය නැති කොරෙකුට…
රජාව එක්කන් ගොස් මහ කන්දක් මුදුනට…
තල්ලු කෙරුව ඒ කන්දෙන් පහලට…
අම්ම එහෙම කරයිද තම පුතාට…

එදා රජතුම සහ බිසව කැලේ යනවිට….
වැදි කුමරෙක් කඩා පැන්න සටනට…
ඒ වැදි කුමරගෙ හැඩි දැඩි වූ සිරුරට…
ආස හිතුන රජතුමාගෙ බිසවට…
කඩුව ඇගෙන් රජතුම ඉල්ලූ විට…
කඩු කොපුව රජුට, කඩුව දුන්න වැද්දට…
අන්න ඒක නිසා නහින්න වුනා රජාට…
ළමයො අම්ම එහෙම කරයිද තම පුතාට…
ඔබෙ බිරිඳව ඔබේ ළඟට කැන්දා…
ඇගෙ වැරදි ඇතොත් කියල දෙන්න පහදා…
ඔබ බිරිඳට ආදරෙන් ඉන්න සැමදා…
මොකද ඔබෙ අම්මත් ගෑණු කෙනෙක් හන්දා…

සමහර තරුණ, තරුණියන්ට…

හදවතින් ඇවිදීම හෙවත් “තරණය” (Trail)

Posted in එදිනෙදා සිද්දි on July 1, 2011 by සසඳ

ගොඩක්ම කාලෙකින් මේ පැත්තට ගොඩවුනේ… හේතුව “බිසි” (හිකිස්). ඇත්තටම පහුගිය දවස් ටිකේ හරිම කාර්යබහුල වුනා. දැනුත් වෙනසක් නෑ. ඒත් අත්‍යාවශ්‍යම කාරණාවක් නිසයි ආවෙ.
ඔයාල දැනටමත් දන්නව ඇති “තරණය” ගැන. මේක ඇත්තටම පිළිකා රෝගීන් උදෙසා කෙරෙන්නා වූ මහත් සද් කාර්යයක්. බරපැන ඇමරිකන් ඩොලර් මිලියන දෙකක්. ඒ කියන්නෙ ආසන්න වශයෙන් රුපියල් කෝටි විස්සක්.
ඉතින් මේ වැඩේට ලංකාවෙ ප්‍රමුඛතම පෞද්ගලික සමාගම් එකාවන්ව නන් අයුරින් දායක වෙනව. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා දින 24ක් පාගමනින් තරණය කරන්නේ මේ සද් කාර්යය සංකේතවත් කිරීමක් වශයෙන්. ඉතින් මේ සඳහා ඔබටත් නන් අයුරින් දාය විය හැකියි. මේ පාගමන සඳහා දායක වන කැමති කෙනෙකුට ඔබට අනුග්‍රහය දැක්විය හැකියි. ඉතින් මමත් මේ සඳහා එක් දිනක් පාගමනින් යාමට බලාපොරොත්තු වෙනව. මගේ පිටුවට මෙතනින් යන්න. ඔබ කැමතිනම් මා හට අනුග්‍රහයක් දක්වන්න පුලුවන්. එහෙමත් නැත්නම් ඔයාල කැමති ඕනම කෙනෙකුට.
මුලු කතාවම මෙතනින් කියවන්න.
ඉතින් මම හිතන්නෙ මේකට සහභාගි වෙන්න ලැබීම මම ලබපු භාග්‍යක් කියල. මොකද කවදා, කොහොම අපි මැරෙයිද කියල කවුරුත් දන්නෙ නැති නිසා. අන්තිමට මැරෙනකොට අපි ගෙනියන දේකුත් නෑනෙ. “කළ හොඳ පමණකි ඉතිරි වෙතේ…”
ඔබට ජය

මගේ අම්මා…

Posted in ආදරය on January 30, 2011 by සසඳ

අම්මා…

දවසක් මම පොතක කියවල තියෙනව මේ ලෝකෙ තියෙන ලස්සනම වචනෙ අම්මා කියල. ඒ දවස්වල ඒකෙ තේරුමක් එච්චරටම නොදැනුනත් අපි කාලයත් එක්ක මුහුකුරා යනකොට ඒක ඇත්ත කියල තේරෙනව නේද? අපි ගෙදරින් පිට ගිහින් එනකොට අම්ම ගෙදර නැත්නම් මොනතරම් දුකයිද…? අනේ මන්ද මටනම් ගොඩක් කේන්ති යනව එතකොට. ගෙදරට එන්නෙ “අම්මේ” කියල කෑ ගහගෙන. මට තවමත් තේරෙන්නෙ නෑ ඇයි කියල. අම්මනම් කියන්නෙ “මොකද මේ බෙරිහන් දෙන්නෙ කියල”. දෙවියන්ට කලින් මම අම්මට, තාත්තට පින් දෙන්නෙ ඒ අරුම-පුදුම බැඳීම නිසා වෙන්න ඇති…