ඈ හීන්දෑරිය… සුදුය… කොහේ, කොතැන දුටුවත් ඇගේ වත කමල සිනා මලින් පිරී ඉතිරී ඇත… මා ඇයව දන්නේ ඇගේ මව ඈ හැර දමා ගොස් කිහිප දිනකට පසුවය. එදා සිට ඇගේ නිවහන වූයේ අපේ නිවසයි. ඈ අනෙකුන් මෙන් නොව. දුටුවන සිත් පිනවයි. ඉතා ප්‍රියකරුය. අප කා හටත් ඈ ඉතා ලෙංගතුය…
විටෙක ඇගේ ලෙංගතුකම මහත් වදයකි. අහල, පහල කොහේ ගියත් ඈ අප සමග එයි… අප සමග පමණක් නොව, කා සමගත් ඈ කුළුපගය. කවුරුත් ඇයට ආදරේය…
මා නිවසින් පිටවන විටත්, පෙරලා පැමිණෙන විටත් ඈ මා අසලට දුවවිත් ඇගේ එල්ලෙයි. ඒ ඇගේ සිරිතය. එවිට ඈ සමග වචනයක් හෝ කතා නොකලහොත් ඈ හද පාරවා ගනී… ඇගේ දෙනෙතේ ඒ බව මනාව පිළිබිඹු වේ…
ඇගේ මුළු ලෝකයම අපේ නිවැසියන්ය… ඉන් තොර ලොවක් ඈ නොදනී… ඉන් ඇයට වැඩකුත් නැත… නපුරුකමක් කියා දෙයක් ඈ දන්නේවත් නැත…
පහළ ගෙදර පොඩි උන් දෙන්නා ඈට නොදෙන වදයක් නැත… වරෙක උඩ දමයි, තවත් වරෙක් පිට උඩ නගී, නැතහොත් බිම දිග ඇදගෙන යයි… ඒත් ඈ නොවේ කේන්ති ගන්නේ… ඇගේ සිනාසෙන දෙනෙත් එහෙමමය… එයනම් පුදුම සහගතය…
අද ඈ රෝගාතුරවය… දහසක් දුක් විඳදරාගෙන ඈ සිනාසෙයි… කෙතරම් අමාරු වුවද එය නොපෙන්වා සිටීමට ඈ වෑයම් කරයි… ඒත් ඒ දෙනෙත් අද කඳුළු පටලයකින් වැසී ඇත… ඈ අසනීපයෙනි… “සුද්දී” යැයි කී විට අමාරුවෙන් හිස ඔසවයි… අනේ ඇයට කුමක් සිදුවීද…? දෙවියනි ඇයට ඉක්මන් සුවය ලබාදුන මැනවි…
තිරිසන් ආත්මයක් වුව මිනිසුන්ට වඩා යහපත් ගති ඇති “සුද්දී” අප අතර සිටින බොහෝ නොමිනිසුන්ට වඩා බොහෝ මිනිස් ගති වලින් යතුය… උඹට ඉක්මන් සුවය ලැබේවා…
“සුද්දී”
Posted in ආදරය on January 12, 2012 by සසඳඔබගෙ අම්මද? නැත්නම්, ඔබගෙ බිරිඳද…?
Posted in එදිනෙදා සිද්දි on December 7, 2011 by සසඳකොහොමද ඉතින් යාළුවනේ…? ගොඩක් කාලෙකින් එන්න බැරි උනා… ජංජාලෙ කරක් ගහනකොට හම්බ උනා ලස්සන සින්දුවක්. අපෙ බයිලා චක්‍රවර්තී එම්.එස්.ප්‍රනාන්දු කළා ශූරීන්ගෙ ලස්සන සින්දුවක්. හොඳින් අහල බලන්න. ලොකු තේරුමක් මේකෙ තියෙනව… මෙන්න මෙතනින් බාගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්. හදිසියෙ ආවෙ. ළඟදීම හොඳ පෝස්ට් ටිකක් අරන් එන්නම්… ජය…
ඔබගෙ අම්මද? නැත්නම්, ඔබගෙ බිරිඳද…?
ඔබ ආදරෙ මේ දෙදෙනගෙන් කාටද…?
ගෑණු අපිට සිය ගනන් සෙව්වැකි…
හැබැයි අම්ම කිව්වොත් එක්කෙනයි බොරු නැති…
අත් මිට කාසි පනම් ඇති විට…
එතකොට ගෑණුත් ඇති වට පිට…
එයල අත මිට නැති දා හැර යයි යන්නට…
නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට…
සමහර තරුණ, තරුණියන්ට රැවටිලා…
අසරණ මෑණියන්ට වෙනස්කම් කළා…
ගෑණු ඕනතරම් ලෝකෙ හරිම කරදරේ…
එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ…
එදා චූල පදුම රජතුමාගෙ බිසවට…
පිපාසෙ උන කාන්තාරෙ යනකොට…
රජා උරේ පලළ ලේ දුන්නනෙ බොන්නට…
රජු එතරම් ආදරෙන් හිටියෙ බිසවට…
ඇය ආස හිතිල අත පය නැති කොරෙකුට…
රජාව එක්කන් ගොස් මහ කන්දක් මුදුනට…
තල්ලු කෙරුව ඒ කන්දෙන් පහලට…
අම්ම එහෙම කරයිද තම පුතාට…
එදා රජතුම සහ බිසව කැලේ යනවිට….
වැදි කුමරෙක් කඩා පැන්න සටනට…
ඒ වැදි කුමරගෙ හැඩි දැඩි වූ සිරුරට…
ආස හිතුන රජතුමාගෙ බිසවට…
කඩුව ඇගෙන් රජතුම ඉල්ලූ විට…
කඩු කොපුව රජුට, කඩුව දුන්න වැද්දට…
අන්න ඒක නිසා නහින්න වුනා රජාට…
ළමයො අම්ම එහෙම කරයිද තම පුතාට…
ඔබෙ බිරිඳව ඔබේ ළඟට කැන්දා…
ඇගෙ වැරදි ඇතොත් කියල දෙන්න පහදා…
ඔබ බිරිඳට ආදරෙන් ඉන්න සැමදා…
මොකද ඔබෙ අම්මත් ගෑණු කෙනෙක් හන්දා…
සමහර තරුණ, තරුණියන්ට…
හදවතින් ඇවිදීම හෙවත් “තරණය” (Trail)
Posted in එදිනෙදා සිද්දි on July 1, 2011 by සසඳගොඩක්ම කාලෙකින් මේ පැත්තට ගොඩවුනේ… හේතුව “බිසි” (හිකිස්). ඇත්තටම පහුගිය දවස් ටිකේ හරිම කාර්යබහුල වුනා. දැනුත් වෙනසක් නෑ. ඒත් අත්‍යාවශ්‍යම කාරණාවක් නිසයි ආවෙ.
ඔයාල දැනටමත් දන්නව ඇති “තරණය” ගැන. මේක ඇත්තටම පිළිකා රෝගීන් උදෙසා කෙරෙන්නා වූ මහත් සද් කාර්යයක්. බරපැන ඇමරිකන් ඩොලර් මිලියන දෙකක්. ඒ කියන්නෙ ආසන්න වශයෙන් රුපියල් කෝටි විස්සක්.
ඉතින් මේ වැඩේට ලංකාවෙ ප්‍රමුඛතම පෞද්ගලික සමාගම් එකාවන්ව නන් අයුරින් දායක වෙනව. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා දින 24ක් පාගමනින් තරණය කරන්නේ මේ සද් කාර්යය සංකේතවත් කිරීමක් වශයෙන්. ඉතින් මේ සඳහා ඔබටත් නන් අයුරින් දාය විය හැකියි. මේ පාගමන සඳහා දායක වන කැමති කෙනෙකුට ඔබට අනුග්‍රහය දැක්විය හැකියි. ඉතින් මමත් මේ සඳහා එක් දිනක් පාගමනින් යාමට බලාපොරොත්තු වෙනව. මගේ පිටුවට මෙතනින් යන්න. ඔබ කැමතිනම් මා හට අනුග්‍රහයක් දක්වන්න පුලුවන්. එහෙමත් නැත්නම් ඔයාල කැමති ඕනම කෙනෙකුට.
මුලු කතාවම මෙතනින් කියවන්න.
ඉතින් මම හිතන්නෙ මේකට සහභාගි වෙන්න ලැබීම මම ලබපු භාග්‍යක් කියල. මොකද කවදා, කොහොම අපි මැරෙයිද කියල කවුරුත් දන්නෙ නැති නිසා. අන්තිමට මැරෙනකොට අපි ගෙනියන දේකුත් නෑනෙ. “කළ හොඳ පමණකි ඉතිරි වෙතේ…”
ඔබට ජය
මගේ අම්මා…
Posted in ආදරය on January 30, 2011 by සසඳඅම්මා…
දවසක් මම පොතක කියවල තියෙනව මේ ලෝකෙ තියෙන ලස්සනම වචනෙ අම්මා කියල. ඒ දවස්වල ඒකෙ තේරුමක් එච්චරටම නොදැනුනත් අපි කාලයත් එක්ක මුහුකුරා යනකොට ඒක ඇත්ත කියල තේරෙනව නේද? අපි ගෙදරින් පිට ගිහින් එනකොට අම්ම ගෙදර නැත්නම් මොනතරම් දුකයිද…? අනේ මන්ද මටනම් ගොඩක් කේන්ති යනව එතකොට. ගෙදරට එන්නෙ “අම්මේ” කියල කෑ ගහගෙන. මට තවමත් තේරෙන්නෙ නෑ ඇයි කියල. අම්මනම් කියන්නෙ “මොකද මේ බෙරිහන් දෙන්නෙ කියල”. දෙවියන්ට කලින් මම අම්මට, තාත්තට පින් දෙන්නෙ ඒ අරුම-පුදුම බැඳීම නිසා වෙන්න ඇති…
අද ඔහුට, හෙට අපිට විය හැක
Posted in එදිනෙදා සිද්දි on January 30, 2011 by සසඳමම ඊයෙ මූණුපොතේ කරක්ගහනකොට හද සසලවන පුවතක් දැක්ක. ඒ තමයි අපේම තවත් එකෙක්, ඒ කිවුවෙ අපි වගේම ලෙයින්, මසින් හැදුන එකෙක්ට වෙච්ච අවාසනාවන්ත සිදුවීමක් ගැන.
අපි කවුරුත් මැරෙන මිනිස්සු වෙච්චි ආයෙ මොකටද මේ භේද භින්න. ඉන්න ටික කාලෙදි පුලුවන් තරමින් කාටහරි උදව්වක් කරගෙන ඉන්නව මිසක්. වැඩි කතා ඕන නෑ. මෙන්න මෙතනින් ගියානම් ඔක්කොම විස්තරේ දැනගන්න පුලුවන්. ඔයාලටත් පුලුවන්නම් හැකි පමණින් උදවුවක් කරනවනම් බොහොම පිං. ඔයාට දෙන්න පුළුවන් එක රුපියලයිනම් ඒක දෙන්න. සමහරවිට ඒ රුපියලෙන් ඔයා ලබන සතුට කෝටියකින්වත් ගන්න බැරි නිසා…
එහෙනම් ජය
තවත් විස්තර පහළින් ගන්න
http://cyberfestival.blogspot.com/2011/01/blog-post_30.html?showComment=1296370498038#c2381618130521962288
ළහිරු පෙරේරා තව්තිසාවේ ජනෙල් බින්ඳ වගයි
Posted in එදිනෙදා සිද්දි on January 30, 2011 by සසඳහදිසියෙම මේ පැත්තෙ ගොඩවැදිල යන්න හිතුන. අලුතෙන් පටන්ගත්තු වැඩ ටිකක් නිසා හරිම කාර්‍ය්බහුලයි.
හදිසියෙම මේ පැත්තෙ එන්න හිතුනෙ හිත කළකිරුනු කාරනාවක් නිසා. ඒක ඒ තරම් දේකුත් නෙවි. ඒත් මගෙ හිත ඒකට කළකිරුන.
ඇහුවද ළහිරු පේරේරගෙ අළුත්ම ගීතය? ඇත්තටම ළහිරුගෙ “රම්බරී” ගීතය නිසා මම ආස කරපු ගායකයෙක් තමයි ඔහු. මොකද ඒකෙ ලොකු තේරුමක් නැතත් හොදට කරල තිබුන නිසා. ඒ වගේම සාදයකදි වගේ ඉතින් පොඩි ඩාන්ස් එකක් දාන්නත් හොදයිනෙ. ඉතින් ලගදි දවසක මම දැක්ක ඔහුගෙ අළුත් ගීතයක් නිකුත්වුනා කියල. නම “කොදෙවු රටේ පොල්”. අහල නැත්නම් මෙතනින් යන්න… මොබිටෙල් සමාගම වෙනුවෙන් තමයි කරල තියෙන්නෙ කියලයි කියල තිබුනෙ. හොයල, හොයල අන්තිමට හොයාගත්ත කියමුකො සින්දුව. ඉතින් ආසාවෙන් අහන්න ගත්ත. ඒකත් රම්බරී වගේම තමයි. හරයක් නැතත් අමුතු ගතියක් තිබුනා. ඒත් එක තැනක මම නැවතුනා “දිවියලෝකෙ ටීවි වටේ දෙවියො පිරෙන්නේ… අපේ රටේ දිනුම පතා හුරේ කියන්නේ… තවුතිසාවෙ ජනෙල් වලට බෝල වදින්නේ… එන්න…”. කවුරු මොන මතයක් දැරුවත් මමනම් මේකට පෞද්ගලිකව එකඟ නෑ… පුදුමෙ කියන්නෙ 2011 Cricket World Cup එකේ Official Theme Song එකත් මේකලු. කරුමෙටවත් සිංහල දන්න එක සුද්දෙක් හරි හිටියනම් උන් ලංකාව ගැන කොහොම හිතයිද? අඩුම තරමෙ රටේ වගකිවයුතු මිනිස්සු, ආයතනවත් මේක දැකල නැද්ද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ.
සිංහල බෞද්ධයෙක් හැටියට මම ඒකට කැමති නෑ. මම දන්නෙ නෑ ළහිරු සිංහලද, බෞද්ධද කියලවත්. ඔහුගෙ සිංදු අහද්දි ඔහුගෙ වතගොත මම හෙවුවෙත් නෑ. ඒකෙන් මට වැඩක් තිබුනෙත් නෑ. සමහරවිට කවුරුහරි කියයි ඔහු නෙවි වෙන්න ඇති මේක ලියුවෙ කියලත්. ඒකත් එහෙමනම් ඔහු ගැන තවත් දුකයි. මොකද ඒකට එකඟ නොවෙන්න තරම් ඔහුට කොන්දක් නොතිබුන එකට. Akon ගෙ වීඩියෝ එකකට අපේ කට්ටිය ගොඩාක් කෑ ගැහුව මට මතකයි. ඒකානම් පරයෙක්, අපේ එකෙක් නෙවි කියලවත් හිත හදාගන්න තිබුන. ඒත් බෞද්ධයාගේ බණ පොත් වල නිතරම කියවෙන තවුතිසාවෙ ජනෙල් බිඳින ළහිරු ගැන කුමන කතාද…? මම හිතන්නෙ නෑ වෙන කිසිම ආගමක ජාතියක තමුන්ගෙම දේවල් මේ තරම් හෑල්ලුවට ලක් කරන කළාකාරයො ඇති කියලනම්. හරිම කණගාටුයි ළහිරු සහෝදරයා… ජීවිතේ, කළාව කියන්නෙ සල්ලි නිසා අම්ම-අප්ප, ආගම-ජාතිය විකුණාගෙන කන එකට නෙවි. තමුන් කරන්නෙ හරි දෙයක්නම්, හැමෝම ඒක පිළිගනීවි සතුටෙන්. පහුවෙලා හරි. ඒකයි එදා වගේම අදටත් අමරදේව මාස්ටර්ගෙ “සසර වසන තුරු…” සිංදුවට මිනිස්සු ආස කරන්නෙ. ඒ වගේම ඔහුට ගරු කරන්නෙත්. සුනිල් එදිරිසිංහයන්ගෙ “අම්මා…” ගීතයට කඳුළු වගුරවන්නෙ. මිනිස්සු මළත් නම පවතින්නෙ එතකොටයි.
මාළුව නහින්නෙත් කට හින්දලු. ඒක නිසා කවුරු, කවුරුත් දෙයක් කියන්න කලින් ටිකක් හිතල බැලුවොත් හොඳයි කියලයි මමනම් හිතන්නෙ… ඔය තමුන්ගෙ සිංදුව හිට් කරගන්න කියල හිතාගෙන ඕනම දහපදුරා වැඩක් කරන හැම කෙනෙක්ම ටිකක් පොලොවෙ පයගහගෙන හිතුවොත් හොඳයි. මොකද ඔය කවුරුත් උඩ පනින්නෙ මිනිස්සු ආදරේ කරනකම් විතරයි නිසා… ඔන්න අපි ගියා. කාටවත් මඩක්වත්, අපහාසයක්වත් නෙවි මම කලේ. හිතන්න පොඩි ඉඟි ටිකක් දුන්න විතරයි.
අපේ තාත්තා…
Posted in ආදරය on November 9, 2010 by සසඳ
අපේ තාත්තාගේ මා දන්නා කාලයේ සිට කොන්ඩය සුදුය. අම්මානම් කියන්නේ සෙනසුරු ඒරාෂ්ඨකේ කියාය. හේ වැඩිය කතා නොකරයි. මං පුංචි කාලයේ ඉඳන්ම සිහින මැවුවේ මගේ තාත්තා වගේ වෙන්නටය, ඒ වගේ අඳින්නට, කතා කරන්නට, ඇවිදින්නට මම තාත්aතාටත් හොරෙන් තාත්තාව අනුකරණය කළෙමි. එදා ඉඳන්ම තාත්තා මට වීරයෙකි.
මම පෙර පාසල් යන කාලයේ තාත්තා මාවත් බයිසිකලයේ තබාගෙන කිලෝ මීටර හය-හතක් බයිසිකලය පැද්දේය. එදවස් තවමත් මා සිතේ සොඳුරු සිහිනයක් සේ සිත්තම් වී ඇති අයුරු පුදුමය.
මගේ පාසලේ හැම වැඩකටව වාගේ ආවේ තාත්තාය. ඔහු කිසිවිටෙකත් කලබල නොවන්නෙකි. පාසලෙන් කට්ටි පැන හසුවූ දිනක පාසලට ආවේද තාත්තාය. ඒත් ඔහු කලබල නැත. ගාමිනී සර් කියූ දේ සාවදානව අසා සිටි ඔහු මාත් කැටුව ආපසු ගෙදර ආවේය. මටද කිසිවක් නොකීය. ඒත් ඔහු නොකී දේ මට දෑස් තුලින් දැකගත හැකිවිය. එදායින් පසු මම කිසිමදාක කට්ටි පැන්නේද නැත.
තාත්තා මහ පුදුම මිනිසෙකි. පාසල් යන කාලයේ පටන් ඔහු මාව දුම් රිය පොළට ඇරලවයි. හවසට රැගෙන යාමට පැමිණෙයි. අදටත් ඔහු එහෙමමය. සමහර දිනක ඔහු පැමිණෙන්නට ප්‍රමාද වූ දිනක මට කේන්ති යයි. ඒත් ඔහු නොවේ කේන්ති ගන්නේ. කෙසේ වෙතත් මා ඔහු සමග කට ගසාගෙන නොයයි. ඒ බියකට හෝ අන් කිසිවකට නොවේ, ඔහු කෙරේ ඇති භක්තියකටය.
තාත්තා තරම් ඉවසන මිනිසෙකු මා තවත් දැක නැත. ලෝකය පෙරළුනත් ඔහු, ඔහුගේ පාඩුවේ වැඩය. ගමේ සමිතිය ඔහුට මහා ලොකු දෙයකි. ඔහු එය මහා ලොකු වගකීමකින් කරයි. අතින් වියදම් කරගෙන ඔහු සමාජ සේවය කරයි. අම්මා කොතරම් කෑ ගැසුවත් ඔහු නොවේය සැලෙන්නේ. මා මෙන්ම ගමේ මිනිසුන්ද ඔහුට ගෞරව කරයි. ගමේ මිනිසුන් මට සලකන්නේද ඔහුට ඇති ගෞරවයකට මිස මට ඇති බම්බුවකට නොවේය. ඒත් මා ඔහුට ඒ බවක් නොපෙන්වයි. ඒත් සත්‍ය එයයි.
ඔහු කිසිමදාක මට නීති නොදැමීය. මට මගේ පාඩුවේ කැමති දෙයක් කරන්නට ඉඩ දුන්නේය. ඒ ඔහු මා විශ්වාස කළ බැවිනි.තාත්තා පුදුම අවංකය. රාජකාරිය තරම් ඔහුට තවත් දෙයක් නොමැත. ඔහුගේ විනෝදාංශයද එයම විය හැක. මුදල් යනු ජීවිතය නොවන බව මා උගත්තේ මගේ තාත්තාගෙනි. ඔහු සතුටින් ජීවිතය ගෙන යයි. ඔහුගේ ජීවිතය මගේ තරම් කළබලකාරී නැත. හේ මිදුල අතු ගායි, තණකොළ කපයි, වත්ත-මිදුල පිරිසිදුව තබාගනියි. මටනම් ඒවාට වෙලාවක් නැත. ඒත් ඔහු තාත්තා කෙනෙක් වීත් ඔහුට වේලාව ඇත.
තාත්තා ඊයේ කොහෙන්දෝ ෆාමසියකින් බෙහෙත් වගයක් ගෙනත්ය. එහි වටිනාකම රු. 1100.00 ක් වුවද කඩේ කොලුවාට වැරදී තාත්තාගෙන් ගෙන ඇත්තේ රු. 110.00 කි. ඔහුත් ඒ බවක් නොදැන ගෙදර ඇවිත්ය. ආ පසුය ඔහුට වැඩේ තේරී ඇත්තේ. බිල් පතේ තිබූ අංකයට ඇම්තූ ඔහු ඉතිරි මුදල් මනි ඕඩරයකින් යවා ඇත. ඒ තාත්තාගේ හැටිය. ඔහු අවංක වැඩියැයි වෙලාවකට මට සිතේ.
ඉතින් මගේ තාත්තා ගැන කියනවානම් බ්ලොග් පිටු දාහක්වත් ඕනෑය. කෙසේ වෙතත් අපේ තාත්තා දාහකින්වත් සොයාගත නොහැකි පුදුම මනුස්සයෙකි. මම ඔහුට රු. 6000.00 ණයය. ඒත් ඔහුගේ මුලු ණය පියවීමටනම් මට සංසාරෙදිවත් බැරිය…
දේශ සීමා ආක්‍රමණය
Posted in එදිනෙදා සිද්දි on August 26, 2010 by සසඳඉතින් අදත් හිතුන පෝස්ට් එකක් දාල යන්න. මොකද ඉතින් කාලය කියන දේ හරිම හිඟ දෙයක්නෙ.
අද මම වැඩට ගියෙ නෑ. දැම්ම නිවාඩුවක්. වෙන මොකටවත් නෙවි බෙහෙත් ටිකක් ගන්න. ඇති මහලොකු ලෙඩකටත් නෙවි. අපේ අම්මගෙ වදෙන් බේරෙන්න. ඉතින් මම ඔය ඉංගිරිස් බෙහෙත් පාවිච්චිය හරිම අඩුයිනෙ. ඉංගිරිස් බෙහෙතකට කියල බොන්නෙ පණු බෙහෙත් විතරයි (හිනා). ඉතින් උදෙන්ම නැග්ග මගෙ සුපුරුදු වාහනේට. ඒ කිව්වෙ කෝච්චියට හොඳේ. ඔන්න ඉතින් යනව. හම්බ වුනා යාළුවො දෙන්නෙකුත්. එකෙක් ගම්පහින් බහිනව. අනික රාගමින්. මම ඉතින් කොටුවටම යන එකානෙ. හරි බරි ගැහිල වාඩිවෙලා තුන්දෙනාම යනව ඔන්න.
මෙන්න ටික දුරක් යනකොට අයියල, නංගිල, මාමල, නැන්දල, දූල, පුතාල ටික ටික වැඩිවුනා. අපි වාඩිවෙල හිටපු තැනත් අර හැමදාම යන අයගෙ තැනක්ද කොහෙද. කස්ටිය හෝ ගාල අපිට රවනව. අපිත් ඉතින් අපි නෙවි වගේ යනව. ඇයි දෙයියනේ මේක පුදුම රටක්නෙ. අපිට වාඩිවෙල යන්න නරකද. හැමදාම යන අය විතරද වාඩිවෙලා යන්න ඕන? හැබැයි මම මෙතනදි විශේෂ දෙයක් දැක්ක. ඒක තමයි පිරිමින්ට වැඩිය ගෑණු තමයි රවන්නෙ. බේරෙන්න බැරි එයාලගෙන්. අර කොල්ලො කොහොමත් හිටගෙන යන්නෙ. මොකද මගින් නගින, නගින කෙල්ලට උන් ඉඩ දෙන්න ඕනනෙ… හිකිස්…
අනේ අරුන් දෙන්නම මගින් බැස්සට පස්සෙ මම තනි වුනා. මගෙ යාළුව රාගමින් බැස්සම එතන වාඩිවුනා නංගිල දෙන්නෙක්. බැස්සෙ එකෙක් වුනාට වාඩිවුනා දෙන්නෙක්. අනේ මගෙ යාළුව එච්චර මහත එහෙම නෑ. ඒ වුනාට නංගිල අපූරුවට වාඩිවුනා. එක්කෙනෙක් හොඳට පිටිපස්සට හේත්තු වෙලා වාඩිවුනා. ඒත් අනිත් එක්කෙනාට ඉඩ මදි නිසා සීට් එකේ භාගෙට තමයි වාඩි වුනේ. ඔන්න ඉතින් යනව. ටිකකින් මට තේරුනා භාගෙට වාඩිවෙලා උන්නු නංගි ටික ටික දඟලනව වගේ. ඔන්න එතකොට තමයි මට තේරුනේ වැඩේ. නංගිය හිමීට දේශ සීමා ආක්‍රමණය කරනව. අන්තිමට කැලණිය දිහාට එනකොට මොකක්ද දන්නවද තත්වෙ? නංගිල දෙන්න හොඳට හේත්තු වෙලා නිදි. මේ අයිය තඩි බෑග් එකත් ඔඩොක්කුවෙ තියාගෙන භාගෙට වාඩිවෙලා. බැරිම තැන අයිය නැගිටල දොර ළඟට ගියා. කොටුවට යනකම්ම හිටගෙන තමයි ඉතින්… අනේ දුක්කේ සංසාරේ. මින් පස්සෙනම් කළින් වෙන් කළ ආසන වල වාඩි වෙන්නෙ නෑ මේ අයිය. ඕං කිව්ව…
හිතවතී…
Posted in අනං මනං on August 26, 2010 by සසඳඑකී මෙකී නොකී දාහක් දේවල් නිසා පහුගිය ටිකේම කිසිම නිදහසක් තිබුනෙ නෑ. කොහොමහරි අදනම් පෝස්ට් එකක් දානව කියලමයි පුටුවෙ වාඩි වුනේ.
ඉතින් පහුගිය දවස්වල මගෙ හොඳම යාළුවෙක් ගියා රට. රට කිව්වෙ එංගලන්තෙ. ගොඩක් ආසාවෙන් ඉඳල ලොකු “ඩම්” එකක් දාල තමයි වැඩේ ගොඩ දාගත්තෙ. හ්ම්ම්ම් ඔයාල බලයි ඉතින් මට මොකද මේ හදිසියෙම එයාව මතක් වුනේ කියල. මේකයි කතන්දරේ.
සමහර දේවල් තියෙනව ජීවිතේ කවදාවත් අමතක නොවෙන මතකයන්. අපි හැමෝටම තියෙනව ඒ වගේ අත්දැකීම් ඕන තරම්. ඉතින් මේකත් ඒ වගේ තමයි. ඉතින් ඒ සමහර මතකයන් සදාකාලිකවම මතකයන් විතරයි. ආයෙ කවදාවත් ඒ වගෙ සුන්දර අවස්ථාවන් අපිට ලැබෙන්නෙ බොහොම කළාතුරකින්. ඉතින් අපි අතර ගෙවුනු ඒ සුන්දර මතකයනුත් ඒ වගේ තමයි. මතකයන් විතරයි. කොහොම වුනත් එයා ගියෙනම් මාත් එක්ක හිත හොඳින් නෙවේ කියල මම දන්නව. ඒත් ඉතින් මොනව කරන්නද. එයා හිතනව ඇති මම මහ නපුරෙක් කියල, නැත්නම් ඉරිසියාකාරයෙක් කියල. ඒත් ඒකට හේතුවත්, ඉන් හටගත් ඵලයත් දන්නෙ සසඳයාම තමයි… (හිනා)
ඉතින් මගෙ ඒ විශේෂ හිතවතීත් එක්ක ගතකරපු සොඳුරු දවස් හැමදාමත් මගෙ මතකයන් අතර තියේවි. හැබැයි ආයෙ කවදාවත් අත්විඳින්න නොලැබෙන සුන්දර මතකයන් විදියට විතරක්… ඉතින් ඒ වගෙ සුන්දර අවස්ථාවන්වල සිදුවුන රසබර සිදුවීම්, සංවේදී දේවල් එහෙම ඉස්සරහට කියන්නම්කො හොඳේ….
හැබැයි ඕං කවුරුත් මාව වැරදියට එහෙම ගන්නව නෙවි හරිද? :p අදට නවතින්නම්. ජය




